නවසීලන්තට අඳුරු දිනයක් වූ ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම Image Credits:AP

නවසීලන්තට අඳුරු දිනයක් වූ ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම

මාර් 15, 2019

    නවසීලන්ත වේලාවෙන් පස්වරු 1.40ට (SL TIME 6.10) පමණ මුස්ලිම් දේවස්ථාන 2ක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

    ක්‍රයිස්චර්ච් හි විශාලම මුස්ලිම් දේවස්ථානය වන අල් නූර් දේවස්ථානයදී මෙම ප්‍රහාරය ආරම්භ වී ඇත. මෙම වෙඩි ප්‍රහාරයෙන් අවුරුදු 5ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙක් පමණ මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බව වාර්තාවේ.

    ඡායාරූපය: අල් නූර් දේවස්ථානය

    nzs3

    nzs1

    ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල 500කට ආසන්න පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතර එම දේවස්ථානයට එමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ද සිට ඇති අතර ඔවුන් කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ. 

    මේ සිදුවීම හේතුවෙන් බංගලාදේශය සහ නවසීලන්තය අතර තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට දෙරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

    මෙම සිද්ධියෙන් සුළු මොහොතකට පසු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම : වීඩියෝ - මොහොමඩ් ඉසාම්

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3ක් සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත. ඒ අතුරින් එක් පුද්ගලයෙක් මේ සිදුවීමට සම්බන්ධයක් නැති බව එරටින් ලැබෙන අලුත්ම වාර්තාවල සඳහන් වේ.

    ඡායාරූපය: බ්‍රෙන්ට් ටැරන්ට්

    nzs2

    මෙම ප්‍රහාරය සිදු කරන අන්දමේ සජීවී වීඩියෝවක් අන්තර්ජාලය හරහා විකාශය කිරීමට එම ප්‍රහාරකයින් අතුරින් එක් අයෙක් කටයුතු කර තිබිණි. ඔහු 28 හැවිරිදි ඕස්ට්‍රේලියාවේ උපත ලැබු බ්‍රෙන්ට් ටැරන්ට් නම් අයෙක් බවට අනාවරණය වී ඇත. තවත් පුද්ගලයෙක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද පැළඳ සිට ඇති අතර දේවස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් ද සොය ගත් බව වාර්තාවේ. මේ ප්‍රහාරය සිදු කිරීමට හේතුව සඳහන් කරමින් පිටු 73කින් සමන්විත ප්‍රකාශනයක් ද මෙම සිදුවීමට සුළු වේලාවකට පෙර අන්තර්ජාලයට නිකුත් කර තිබිණ.

    ඡායාරූපය: ප්‍රකාශනය

    nzs4

    නවසීලන්ත රජය අදාළ ෆේස්බුක් ගිණුම හා ට්විටර් ගිණුම ඉවත් කිරීමට කටයුතු කළ අතර ඔවුන් ඉල්ලීමක් කර සිටින්නේ එම වීඩියෝව සහ ප්‍රකාශන අන්තර්ජාලය තුළ ව්‍යාප්ත කිරීම සිදු නොකරන ලෙසයි.

    මිනිත්තු 17කට ආසන්න කාලයක් පුරා දිවෙන එම විඩියෝවෙදී මෙම පුද්ගලයා සිය ඉලක්කය වන මුස්ලිම් දේවස්ථානය වෙත සිය කාර් රථයෙන් එන අයුරු සහ සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය පැහැදිලිව දැක ගත හැකි විය.

    ක්‍රයිස්චර්ච් අවට ප්‍රදේශය පුරා පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර සියලු දේවස්ථාන සහ පාසල් තාවකාලිකව වසා දමා ඇත.

    මේ අතර නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් ප්‍රකාශ කරන්නේ මේ දිනය නවසීලන්තයේ අඳුරු දිනවලින් එකක් බවයි. ඇය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව අවධාරණය කර ඇත.

    "මේ ප්‍රහාරයෙන් හානියට පත් වූ ඇතැම් අය නවසීලන්තයට සංක්‍රමණය වූ අය හා නවසීන්තයට සරණාගතයින් ලෙස පැමිණි අයයි. ඔවුන් නවසීන්තය තම නිවහන ලෙස තෝරාගත් අයයි. ඔවුන් අපේ අයයි. මේ ප්‍රහාරය කළ අය අපේ අය නොවෙයි ඔවුන්ට නවසීලන්තය තුළ ඉඩක් නැහැ" යැයි ඇය ප්‍රකාශ කරයි.

     මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු ජාතිකයා අන්තවාදී ත්‍රස්තවාදීයෙක් ලෙස ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හඳුන්වා දී ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    (දිනූෂ රාජසේකර)

     

    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 13:41

    Latest News