ගෝඨාභයට විදෙස් ගතවීමට අවසරයක්

මාර් 15, 2019

    මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

    නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශගතවීමේ තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය. ‍‍සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 26 වනදා සිට අප්‍රේල් මස 12 දක්වා විදේශ ගත වීමට අවශ්‍ය ඇති බැවින් ඒ සඳහා දැනට අධිකරණයෙන් පනවා ඇති ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ.

    ඒ අනුව අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවීම සඳහා අවසර ලබාදුන් අතර අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට නියම කළේය.

    මෙම නඩුවේ විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින අනිල් ද සිල්වා සහ කාලිංග ඉන්දතිස්ස යන ජනාධිපති නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් චෝදනා ගොනු කර ඇති ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයට පටහැනි බව කියා සිටියේය.

    මෙම චෝදනා විභාග කළොත් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදු වන බව ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    එම නිසා මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව තුළින් ජනාධිපති නීතිඥවරු ඉල්ලීම් කළා.

    නඩුව නැවත ලබන 28 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර ඇත.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 15:32

    Latest News