ග්ලයිෆොසෙට් භාවිතය සඳහා අනුමැතිය දීමට එරෙහිව පෙත්සමක්

සැප් 07, 2022

    ග්ලයිෆොසෙට් වල් නාශක තහනම් කරමින් පණවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

    පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් එම පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කරමින් 2017 වසරේ නිකුත් කර තිබූ නියෝග ඉවත් කරමින් ඒවා භාවිතය සඳහා අවසර දෙමින් වර්තමානයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

    ග්ලයිෆොසෙට් භාවිතාව හේතුවෙන් ජල මූලාශ්‍රවලට දැඩි හානියක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    පස් සහ පැළෑටිවලටත් ඉන් විශාල අගතියක් සිදුවන බවයි එම පෙත්සම පෙන්වා දී තිබෙන්නේ.

    මේ හරහා මිනිස් සෞඛ්‍යයට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම වල් නාශක භාවිතාව තුළින් මත්ස්‍යයින්, පක්ෂීන් වැඩි ජීවීන්ටද අගතියක් සිදු වන බව පෙන්වා දී තිබෙනවා.

    මේ හේතුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම හරහා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තහනම ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News