සිය පාරම්පරික නිජබිම් පවරා ගැනීමට එරෙහිව ආදිවාසී නායකයාගෙන් පෙත්සමක්

සැප් 07, 2022

    රඹකැන් ඔය , පොල්ල බැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් එළි කොට ඒවා පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ආදීවාසී නායක ඌරු වරිගේ වන්නියලෑ ඇත්තෝ ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.



    මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මහවැලි අධිකාරිය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බවයි.

    ඒ අනුව පෙත්සම් පිළිබඳ විභාගය ජනවාරි මස 31 වනදා තෙක් කල් දැමුණු අතර පෙත්සමට අදාළ විරෝධතා ඔක්තෝම්බර් මස 19 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළා.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය කල් යාම හරහා තම සේවාදායකයින් ගේ පාරම්පරික නිජබිම් අහිමි වීමේ අවදානමක් මතුවන බව දන්වා සිටියා.

    එහිදී අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට ප්‍රකාශ කළේ පෙත්සම්කරුවන්ගේ ඉඩකඩම්වලට යම් අනතුරුදායක තත්ත්වයක් මතු වන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ පිහිටි ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික ඉඩකඩම් මහවැලි අධිකාරිය විසින් එළිපෙහෙළි කොට විවිධ ව්‍යාපෘති සඳහා පුද්ගලික සමාගම් වෙත පැවරීමේ සූදානමක් පවතින බවයි.

    ඒ හරහා සිය පාරම්පරික නිජබිම් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත් මහවැලි අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙළ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News