ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය සඳහා සාකච්ඡා අරඹන්නැයි, ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

සැප් 02, 2022

    ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය සඳහා සාකච්ඡා අරඹන්නැයි, ජපාන විදේශ අමාත්‍ය ෂුනිචි සුසුකී මහතා ණය හිමි රටවලට අවධාරණය කරනවා.

    ජපාන විදේශ ඇමතිවරයා මෙම ඉල්ලීම කළේ, ශ්‍රී ලංකාව සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල අතර, ඇති කර ගනු ලැබූ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ජපාන විදේශ ඇමති ෂුනීචි සුසුකි ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය සම්බන්ධයෙන් අද උදේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු චීනය සහ ඉන්දියාව යන රටවල් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළා. චීනය හා ඉන්දියාව ඇතුළු සියලු ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධ සාකච්ඡා වහා ආරම්භ කිරීමට එක් විය යුතු බවයි, ජපාන විදේශ ඇමතිවරයා කියා සිටින්නේ. ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මැදිහත්වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඉකුත් සතියේ ද ජපන් රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සමුළුවක් කැඳවීමට තමන් සූදානම් බවයි.

    අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ඊයේ ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පෙරාතුව, ශ්‍රී ලංකාව ණය ලබා ගෙන ඇති රාජ්‍යයන් හා පෞද්ගලික ආයතනවලින් එම ණය යළි ගෙවීම සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමේ එකඟතාවකට එළඹිය යුතු වනවා. මේ සඳහා සහය වන ලෙසට ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

    Latest News