වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතවීමට හිටපු ඇමති බැසිල්ට අවසර...

සැප් 02, 2022

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වැනිදා තෙක් විදේශ ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ අමෙරිකාව බලා යාමට අපේක්ෂා කරන බැවින්, ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.  වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව, විමර්ශනයක් සිදු කරන ලෙස, රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    ඊට අදාළව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වැනිදා තෙක් විදේශ ගත වීම සඳහා අද අවසර ලබා දුන්නේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

    Latest News