අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන බෙදාහැරීමේ විධිමත් ‍වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට නියෝග

ජූලි 15, 2022

    මෙරට ආනයන කරනු ලබන ඉන්ධන, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බෙදාහැරීමේ විධිමත් ‍වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    ඉන්ධන, ආහාර, විදුලිය, ඖධෂ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව බෙදාහැරීමේ දිගු කාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක සකස් කරන ලෙස, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද විභාගයට ගැනුණු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

    සෙත්සම විභාගයට ගැනුණේ, විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී නීතිපතිවරයා විසින් ඉන්ධන මිලදී ගැනීම් හා බෙදාහැරීම පිළිබඳව පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී විනිසුරුවරුන් නියම කළේ, ඉදිරි දෙසතියක කාලය තුළ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා ඉන්ධන බෙදාහැරීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම සුදුසු බවයි.

    ඒ අනුව, අදාළ පෙත්සම් යළි ලබන 26 වැනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළා.

    Latest News