ඉන්දියාවෙන් ඉන්ධන නැව් 4ක්

ජූනි 28, 2022

    මෙරට පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා - ඉන්දියා රජයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

    ඒ අනූව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය හර්දීප් සිංග් පූරි මහත්වරුන් අතර ඊයේ (27) සාකච්ඡා පැවැත්විණ.

    ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකා දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර කඩිනමින් ඩීසල් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියාවේ එකඟතාව පළවී තිබෙන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

    කෙසේ වුවද, එම ඩීසල් නෞකාව මෙරටට ළඟාවීම සඳහා තවත් දින 10 ත් 12 ත් අතර කාලයක් ගතවනු ඇති බවට විශ්වාස කෙරෙන අතර ඊට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා - සිංගප්පූරු රජයන් අතර ද සාකච්ඡා ආරම්භ වී තිබේ. 

    ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙහිදී ඇමැති පූරි මහතා ට විස්තර කළේය.

    ඉන්ධන ආනයනය සඳහා ණය වශයෙන් දුන් සහාය වෙනුවෙන් ඉන්දියාවට ස්තුතිය පුදකරන අතරම, ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් කඩිනමින් ගැනීමේ හැකියාව පිළිබඳ අමාත්‍ය පූරි මහතා සමඟ සාකච්ඡා කළ අතර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ බවද මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට දියහැකි සෑම සහයෝගයක්ම සහතික කළ බව ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    Last modified on අඟහරුවාදා, 28 ජූනි 2022 09:43

    Latest News