ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව කෙටුම්පතක්

ජූනි 16, 2022

    ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධ හමුවක් ඊයේ පැවැත්විණි.

    ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් හා එම ප්‍රජාවට පවතින නීතිමය ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීමට ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයින් හා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    එම ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා 2019 වසරේ සකස් කරන ලද පනත් කෙටුම්පත පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර එහි යම් යම් අඩුපාඩු ඇති බැවින් ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් පවතින සියලු සංවිධාන සමග එක් වී පනත් කෙටුම්පත සදහා ඇතුළත් කළ යුතු නව සංශෝධන පිළිබදව වු යෝජනා ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය විය. ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා හා ඔවුන්ට සුබසාධන කටයුතු ලබාදීමවෙනුවෙන් කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ සියලු දෙනාගේ යෝජනා අඳහස් ලබා ගැනීමෙන් පසු නව පනත් කෙටුම්පත සකස් කළ යුතු බවයි.

    දැනට පවතින කෙටුම්පතෙහි සිදු විය යුතු වෙනස්කම් පිළිබදව යෝජනා ලබා ගැනීමෙන් පසුව සියලු පාර්ශව සමග සාකච්ඡා කර අවසන් කෙටුම්පත සකස්කිරීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආබාධිත ජනතාව සම්බන්ධව පවතින නීති යාවත්කාලීනවීම පිළිබඳව මෙහිදී අඳහස් හුවමාරු වු අතර ආබාධිත ජනතාව නඩු කටයුතු සදහා යොමු වන අවස්ථාවල දී ඇතිවන අපහසුතා පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

    ලක්ෂ 17 ක පමණ ආබාධිත ජනතාවක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන බැවින් මෙරට ආර්ථික ක්‍රියාවලිය සදහා තමන්ගේ දායකත්වය ලබා ගන්නා ලෙසත්, ආබාධිත ජනතාව දෙස මීට වඩා වැඩි සැළකිල්ලක් දැක්වීමට රජයේ අවධානය යොමු කරන ලෙසත්, ඔවුන් අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කොටඇත.

    නව පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ආබාධිත ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබදව රාජ්‍ය ආයතන හා මහජනතාව දැනුවත් කළ යුතුබවද අධිකරණ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා ,අතිරේක ලේකම් පියුමන්ති පීරිස් ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි ප්‍රතිපත්ති විශේෂඥචන්ද්‍රිකා කරුණාරත්න යන මහත්මීන් හා ආබාධිත සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක් විය.

    Latest News