වී අලෙවි මණ්ඩලයෙන් සපයන සහල් ප්‍රමාණය මෙ.ටො.10,000 දක්වා ඉහළට

ජූනි 16, 2022

    වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග උපයෝගී කර ගනිමින් වෙළඳපොළ තුළ ඇති සහල් හිඟ තත්ත්වය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සහල් ප්‍රමාණය මාසිකව මෙ.ටො.10,000 බැගින් නිකුත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) එම සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    අද (16) දින පෙරවරුවේ වී අලෙවි මණ්ඩලයේ සහල් නිකුත් කිරීම, මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආදී කරුණු සම්බන්ධව අද (16) දින විශේෂ සාකච්ඡාවක් කොළඹ වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට වී අලෙවි මණ්ඩල සභාපති නීල් ද අල්විස් සහ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය සතිය තුළ සහල් මෙ.ටො. 1500ක් වෙළඳපොළට සපයා ඇති අතර, දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන සහල් හිඟය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මාසිකව මෙ.ටො.10,000 බැගින් සහල් නිකුත් කිරීමට තීරණය විය. එමෙන්ම මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව පවතින සම්බා වී තොග උපයෝගී කර ගනිමින් ‘PMB Rice’ නමින් කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 10 ප්‍රමාණයෙන් සහල් මලු වෙළඳපොළට වහාම නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    එමෙන්ම මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වහලවල වර්ග අඩි විසි ලක්ෂයක පමණ ඉඩකඩ ඇති බැවින් ඒවා උපයෝගී කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද තීරණය කරනු ලැබීය. එමෙන්ම යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට ආරම්භ වී ඇති අතර, ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී සාකච්ඡා විය.

    Latest News