ළමා අපචාරයකට වරදකරු වූ අයෙකුට වසර 9ක සිර දඬුවම්

ජූනි 16, 2022

    2009 වසරේ පස්හැවිරිදි පෙර පාසල් දරුවකුට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවම් නියම කළා.

    ඊට අමතරව අදාල විත්තිකරුට රුපියල් 15000/- දඩයක් ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබවොත් අමතරව මාස 03 ක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළා.

    ඊට අමතරව අතවරයට පත් තැනැත්තාට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව අවුරුද්දක සිර දඬුවම් නියම කරන බවත් විත්තිකරුට නියෝග කර සිටියා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පස් හැවිරිදි වියේ පසු වූ පෙරපාසල් දරුවකු වන මෙම නඩුවේ වින්දිතයාට විස්කෝතු ලබාදෙන බව පවසා රවටා විත්තිකරු විසින් රැගෙන ගොස් සිය මිත්තණියගේ නිවසේ උඩු මහලේ දී ලිංගික අතවරයකට ලක් කළ බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වූ බවයි.

    අතවරයට පත් දරුවා අධිකරණය හමුවේ සාක්ෂි දෙන අවස්ථාවේ දාහත්වන වියේ පසු වූ බවත් විනිසුරුවරයා තීන්දුව තුළින් සඳහන් කළා.

    වින්දිත තැනැත්තා විසින් ලබාදුන් සාක්ෂිවල කිසිදු පරස්පර භාවයක් දක්නට නොලැබුණු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහුගේ සාක්ෂිය විශ්වාසනීයත්වයකින් යුක්ත වූ බවත් සඳහන් කළා.

    ඒ අනුව විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි ද විනිසුරුවරයා තීන්දු කළා.

    දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තිස් එක් හැවිරිදි වියේ පසුවන තම සේවා දායකයා එක්දරු පියකු බවත් ඔහුට පෙර වැරදි නොමැති බවත් සඳහන් කළා.

    ඒ අනුව විත්තිකරුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු විසින් සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවයි.

    අනාගතයේදී මෙවැනි වරදවල් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අධෛර්යමත් කිරීමට උපකාරීවන පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක් මෙම විත්තිකරුට ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

    Latest News