ළමා අපචාරයක් සිදු කළ විත්තිකරුවෙකුට බරපතළ සිරදඬුවම්

මාර් 09, 2021

    බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 34 ක සිරදඬුවම් නියම කළා.

    එම සිරදඬුවම වසර 15 කින් ගෙවී යා යුතු බවයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේ. ඊට අමතරව විත්තිකරුට රුපියල් 10000/- දඩයක්ද නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා. එම දඩ මුදල සහ වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් විත්තිකරුට අමතරව වසර 05 ක ලිහිල් සිර දඬුවම් නියම කරන බවද තීන්දුවේ සඳහන් වුණා.

    ක්‍රීඩා කිරීම සඳහා අසල්වැසි නිවසක බාලවයස්කාර දැරියක් සිය නිවසට පැමිණි අවස්ථාවේ සිය දියණිය වෙළඳසැලකට පිටත් කර යවා අසල්වැසි දැරිය නාන කාමරයට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කළේ යැයි චෝදනා කරමින් චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා තුනෙන් චෝදනා දෙකක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

    ඒ අනුව ඔහුට මෙම සිරදඬුවම් නියම කෙරුණු අතර විත්තිකරුට එල්ල කර තිබූ තුන් වන චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.

    Latest News