කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහි පැමිණිල්ල ලබන 24 කැඳවේ

ජූනි 10, 2022

    ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් මිලියන තුනකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහි පැමිණිල්ල ලබන 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් මතුකර ඇති බවයි.

    එබැවින් මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියෝගයක් නිකුත් කර ලෙසත් එම නීතිඥවරිය අධිකරනයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන 24 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවන ලෙස නියෝග කළා.

    ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන "නියෝජ්‍ය සභාපති" තනතුර නිර්මාණය කර රජයට රුපියල් මිලියන තුනකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News