කුමාර වෙල්ගම මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදහස්

ජූනි 24, 2022

    හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු නඩුවකින්.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    විත්තිකාර කුමාර වෙල්ගම මහතා මීට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය ඉදිරිපත් කර නොමැති හෙයින් එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විරෝධතා මතු කර තිබුනා.

    ඒ අනුව අදාළ විරෝධතාවය මත අල්ලස් කොමිසම විසින් යළි නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් එය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දුන් අධිකරණය අනතුරුව කුමාර වෙල්ගම මහතා නිදහස් කළා.

    ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30 ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News