පොල් තෙල්වලට ප්‍රමිති සහතිකයක්

මාර් 09, 2019

    වෙළඳපොලට නිකුත් කරන පොල් තෙල් රසායනාගාර පරීක්ෂාවකින් පසු ප්‍රමිති ගත පොල් තෙල් බව සනාථ ලේබලයක් ඇලවීමට ඉදිරියේදී ක්‍රියා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති එච්.කේ.උදය රූපසිංහ මහතා පැවසීය.

    පොල් තෙල් කර්මාන්තය නියාමනය කිරීම පොල් සංවර්ධන අධිකාරිය සතුවේ. බොහෝ පිරිස් දේවාල හා පන්සල් වලින් ඉවත් කරන පරණ වු අපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවත් එය වැළැක්වීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ඔහු කියා සිටි. මේ අනුව අපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය කරන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු කියා සිටියි.

    මේ සදහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් අපිරිසිදු තෙල් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබදව පොල් සංවර්ධන අධිකාරියෙහි වැටලීම් අංශයේ 0112502501/3 දක්වා ඇති දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටී. භාවිත කරන තෙල් පිළිබද සැකයක් තිබේ නම් නාරාහේන්පිට පොල් සංවර්ධන මණ්ඩලයේ ස්ථාපිත රසායනාගාරයෙන් තත්ත්ව පරීක්ෂාවක් කර ගත හැකවේ. ගුණාත්මක පොල් තෙල් බෝතලයක් රුපියල් 270 - රුපියල් 360 දක්වා මිල ගණන් වලට වෙළඳ පොලෙහි අලෙවි කෙරේ. ෆාම් ඔයිල් කලවම් කරන ලද භාවිතයට නුසුදුසු පොල් තෙල් අඩු මිලට වෙළඳ පොලෙහි ඇති බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    වාර්ෂිකව පොල් තෙල් මෙ.ටො.10000 -මෙ.ටො.12000 ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර එයින් ආහාර සදහා පමණක් තෙල් මෙ.ටො. 8000-9000 ත් අතර ප්‍රමාණයක් භාවිතයට ගැනේ. කොප්පරා අව්වේ හා ගින්දර දමා වේලීමේදී ශරීරයට විස සහිත විෂ බීජ ඇතුල් වන බැවින් තාක්ෂණය උපයෝගී කරගෙන ආහාර සැකසීම සදහා භාවිතා කරන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් පොල් වේලා තෙල් ලබා ගැනීම වඩාත් සුදුසු බව සභාපතිවරයා තවදුරටත් පැවසීය.

    තැඹිලි වතුර හා පොල් වතුර පානයක් ලෙසත් පොල්, කොප්පරා , පොල් තෙල් , වර්ජින් ඔයිල් ,විනාකිරි දිසිදි පොල්, පොල් ක්‍රීම්, බටර්, ජෑම් වැනි පොල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, ජර්මනිය, ජපානය, ඉතාලිය, වැනි රටවල් මෙන්ම ආසියානු රටවල්, මැද පෙරදිග, හා අප්‍රිකානු රටවලට අපනයනය කරනු ලබන බවද පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 15:25

    Latest News