බදු වැඩි නොකර පොල් තෙල් මිල ඉහල ගියේ ඇයි ?

ජූනි 17, 2024

    ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවේ.

    මක්නිසාද යත් දේශීය පොල්තෙල් වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නැත. ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා කළින් අය කරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නැත.

    එමෙන්ම නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බලපාන්නේ නැත. පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලිනි. ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහණය කරන නෞකා නොවේ. මේ නිසා නැව් ගාස්තු ඉහළ යාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළයාමට බලපෑමක් එල්ල කරන්නේ නැත.

    දැනට රට තුළට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙගුණයකටත් වඩා පොල්තෙල් ආනයනය කර ගබඩා කර තැබීමට ආනයනයකරුවෝ කටයුතු යොදා ඇත. 2023 වසරේ දී ආනයනය කරන ලද සමස්ත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 17,000කි. නමුත් මෙම වසරේ මැයි මාසය වනවිට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් වශයෙන් දෙගුණයකටත් වඩා ආනයනය කර තිබේ.

    එම පොල්තෙල් තොග දැනට රට තුළ පවතී. එමෙන්ම මෙම පොල්තෙල් තොග කලින් ආනයනය කළ ඒවා බැවින් ඒවා සඳහා කිසිසේත්ම නැව් ගාස්තු ඉහළයාම බලපෑමට හැකියාවක් ද නැත.

    එමනිසා වෙළෙදපළේ පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනයකරුවන්ගේ මාෆියාව විසින් සිදු කරන ලද්දකි. පොල් සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඇති අතර අදාල ආනයනකරුවන් සමග සාකච්ඡා කර පොල්තෙල් මිල ඉහළයාම පාලනය සදහා කටයුතු කරන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    කෙසේ වුවද දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම ආනයනික පොල්තෙල්වල ගුණාත්මක භාවය නියාමනය සඳහා පොල් සංවර්ධන අධිකාරියට වැඩි බලතල ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් 2024 මාර්තු මාසයේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගෙන ඇත.

    ඒ අනුව මේ අන්දමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අසාධාරණ ලෙස පොල්තෙල් මිල ඉහළ නැංවීම නියාමනය සඳහා මෙන්ම දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වැඩි බලතල ජාතික පොල් සංවර්ධන අධිකාරියට පැවරීමට කටයුතු යොදා ඇත.

    කෙසේ වුවද මේ අවස්ථාවේ පොල්තෙල් මිල ඉහළ නැංවීමට පොල්තෙල් ආනයනකරුවන් කටයුතු කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බවත්, පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනකරුවන්ගේ කූඨ ක්‍රියාවක් බවත් පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටී.

    Latest News