රාජිතට එරෙහි මෝදර ධීවර වරාය නඩුව, මාර්තු 30 කැඳවීමට නියෝග

ජන 28, 2022

    රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන සමහරක් විත්ති පාර්ශවයේ නීතිඥවරු වෙත භාර දුන්නේය.

    ඒවා අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව දැනුම් දීම සඳහා නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

    එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

    2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදා සහ එම වසරේ නොවැම්බර් මස පළමුවැනිදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි, චෝදනා කර එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

    මෙම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි, මෙම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබෙන්නේ.

    Latest News