රාජිතට එරෙහි අල්ලස් නඩුවකට දින නියම වෙයි

නොවැ 10, 2021

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැදවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ නඩුව ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙසයි.

    එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

    2014 වසරේ අගෝස්තු මස පළවැනිදා සහ එම වසරේ නොවැම්බර් මස පළවැනිදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකල යැයි, චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

    මෙම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි මෙම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබෙන්නේ.

    මෙම අධි චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 55 ක් ද නම් කර තිබේ.

    Last modified on බදාදා, 10 නොවැම්බර් 2021 11:43

    Latest News