පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹෙයි

මාර් 14, 2022

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

    අදාල ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12 ක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අදාළ ප්‍රහාරයෙන් මිය ගිය මේධා සත්සරණී සිරිමාන්න සහ ඉමේෂ් තිවංක යන තරුණ තරුණියන් දෙදෙනාගේ පියාවන සමන් නන්ද සිරිමාන්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා මහතා කරුණු දක්වමින් සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පිරිසක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු අප්‍රේල් මස 09 වනදා වනවිටත් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබු බව සදහන් කළා.

    ඉන් අනතුරුව එම තොරතුර පොලිස්පතිවරයා විසින් අවශ්‍ය පියවර ගැනීම සඳහා තමා යටතේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමු කර තිබූ බව ද ඔහු සඳහන් කළා.

    මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු පාස්කු ඉරුදිනට පෙර දින සහ ප්‍රහාරය එල්ල වූ දින පෙරවරුවේත් පොලිස්පතිවරයා වෙත ලැබී තිබුණා.

    එහෙත් මේ සම්බන්ධයෙන් පසු විපරමක් කොට ප්‍රහාරය මැඩ පැවැත්වීමට ගතයුතු පියවර ගැනීම පොලිස්පතිවරයා විසින් පැහැර හැර ඇතැයි ද ඔහු චෝදනා කළා.

    තවත් පෙත්සම්කරුවකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය ඔස්සේ කරුණු ඉදිරිපත් කළා.

    අදාල දිවුරුම් ප්‍රකාශයේ තමා ආරක්ෂක අමාත්‍යවරයා යන කරුණ පවා හිටපු ජනාධිපති වරයා විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා ආරක්ෂක අමාත්‍යවරයාගේ විෂය පථයට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක ආයතන අධීක්ෂණය කිරීමේ බලතල පැවරෙන බව පෙන්වා දුන්නා.

    එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා එම ආයතන අධීක්ෂණය කිරීම පැහැර හැර ඇති බව පෙන්වා දුන් නීතිඥ වේරදුවගේ මහතා ඒ හරහා පාස්කු ප්‍රහාරය මැඩ පැවැත්වීමට අදාල වගකීමද ඔහු විසින් පැහැර හැර ඇති බවටයි චෝදනා කළේ.

    ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් දැමුණා.

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News