පුරාවස්තු පිළිබඳ නීති දැඩි කරනවා

මාර් 02, 2019

    පුරා වස්තු විනාශවීම වැළැක්වීම සඳහා පුරාවිද්‍යා පනත සංශෝධනය කරමින් එහි පවතින දඩ හා දඬුවම් ඉදිරියේ දී දැඩි කිරීමට පියවර ගන්නා බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පුරාවස්තු කොල්ලකෑම, ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉතාම අඩු දඩ හා දඬුවම් පවතින බව ද ඉදිරියේ දී මේ සඳහා උපරිම දඬුවම් සඳහා නීති රීති ගෙන එන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

    මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බැවු පැවැසීය.

    මෙහි දී රුපියල් ලක්ෂ 152ක වියදමින් ඉදිකෙරෙන මල්වතු මහා විහාරීය පෝයමළු විහාරීය දොරගමුව පන්සල සංරක්ෂණය සඳහා මෙන්ම අස්ගිරි මහා විහාරීය බටහිර ප්‍රවේශ වාහල්කඩ රුපියල් ලක්ෂ 56.7.ක මුදලකින් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඇමැතිවරයා අතින් මෙහි දී සිදුවිය.

    පනත සංශෝධනය කෙරෙන තෙක් ඇමැති නියෝග මත අන්තර් කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා පවසයි.

    විෂයන් ගණනාවක් ඔස්සේ ඒ සඳහා විෂයානුකූල සංශෝධනයක් අවශ්‍ය බවත් එතෙක් කඩිනමින් අන්තර් කාලීන වැඩපිළිවෙළ ක්‍රියාවට නැන්වෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

    ඒ ඔස්සේ සති දෙකකට වරක් මහා නාහිමිවරු හමුවී එම උපදෙස් ලබා ගනිමින් මෙන්ම අඩුපාඩු මඟ හරවා ගනිමින් සංවර්ධන කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් සැකසෙන බව ද හෙතෙම කීය.

    මහා සංඝරත්නය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල මනා සම්බන්ධීකරණයකින් ඉදිරියේ දී කටයුතු කෙරෙන බව ද විශේෂයෙන් නිලධාරී හිඟය හේතුවෙන් සිදු වූ වැඩ ආවරණ කටයුතු නිසා පසුගිය කාලයේ අඩුපාඩු රැසක් සිදුව ඇතැයි ද ඉදිරියේ දී ඒවා මඟ හැරෙන බව ද ඒ මහතා කීය.

    සංවර්ධන කටයුතු කිරීමේ දී විනිවිදතාවෙන් යුතුව කටයුතු කිරීමට තමන් දැඩි සේ නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇතැයි ද අදාළ කොන්ත්‍රාත්තුව නිසි ලෙස නොකෙරෙන්නේනම් එම කොන්ත්‍රාත්තුව අහෝසි කෙරෙන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

    ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කාල වකවානු කොන්ත්‍රාත්කරුගේ අවශ්‍යතාව මත තීරණය නොකෙරෙන බවත් කල්පැවැත්ම පිළිබඳ නිසි සහතිකයක් සමඟින් එය අමාත්‍යාංශය තීරණය කරන බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 

    මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 09:23

    Latest News