හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අභියාචනා පෙත්සමක්

පෙබ 15, 2022

    පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 9 වන දා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළා.

    මෙම පෙත්සම් අද ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වින්දිතයින්ට නොතිසි නිසි පරිදි ලැබී නොමැති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම මාර්තු මස 09 වන දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

    පෙත්සම ඉදිරිපත් කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙනාම එම සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු එකසිය නවයක් ගොනු කර ඇති බවයි.

    එම නඩු පවත්වාගෙන යාමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදා හරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ ද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි මස 7 වනදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපති සිරිසේන මහතා පෙන්වා දෙනවා.

    දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

    එබැවින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ට අදාළ නඩුවලින් මුදාහරිණ ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම අභියාචනා පෙත්සම සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

    Latest News