ලොහාන් රත්වත්තේට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමට දින නියම වෙයි

පෙබ 15, 2022

    මෑතකදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණා.

    මෙම පෙත්සම අද එස් තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දැනටමත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙන අතර මෙම නඩුවට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

    පෙත්සම අද කැඳවු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කළා

    අනතුරුව පෙත්සම අගෝස්තු මස 09 වන දා විභාගය සඳහා කැඳවීමට ද නියම වුණා.

    මෑතකදී අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරු ලොහාන් රත්වත්තේ මහතා ගිනි අවියක් පෙන්වා එහි සිටි සිරකරුවන්ට තර්ජනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ සිරකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News