හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවසට එරෙහිව ගොනුකළ පෙත්සමක්

පෙබ 15, 2022

    මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ නිල නිවස වශයෙන් භාවිතා කළ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් අනතුරුව ද ඔහු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් වෙත අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකළා.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී ඔහුගේ නිල නිවස වශයෙන් භාවිතා කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබෙන බව සඳහන් පුවත්පත් වාර්තාවක් 2019 වසරේ ඔක්තෝබර් මස 16 වන දා පළ වී තිබූ බවයි.

    අදාළ නිවස රුපියල් මිලියන 180 ක වැය කොට නවීකරණය කර තිබූ බව ද ඔහු පෙන්වා දුන්නා.

    හිටපු ජනාධිපති සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබූ බව පෙන්වා දෙන නීතිඥවරයා දැවැන්ත වාණිජ වටිනාකමක් සහිත මහජනතාව සතු දේපලක් මෙලෙස තමන් ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තමන් වෙත පවරා ගැනීමට හිටපු ජනාධිපතිවරයා ගත් පියවර යුක්ති සහගත නොවන බව ද ඔහු පවසනවා.

    විශ්‍රාමික ජනාධිපති හිමිකම් පනත ට පටහැනි ක්‍රියාවක් බව ද නීතිඥවරයා සදහන් කළා.

    මේ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් සතු බලය අයුතු ලෙස පරිහරණය කොට ඇති බවත් මහජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ හෙළා ඇති බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා චෝදනා කර සිටියා.

    ඒ අනුව අදාළ නිවස හිටපු ජනාධිපතිවරයා වෙත පවරා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    මෙහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.

    විශ්‍රාමික ජනාධිපති හිමිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මුස්තාපා අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාට නිවසක් ප්‍රධානය කිරීමට රජය බැඳී සිටින බව පෙන්වා දුන්නා.

    එමෙන්ම මෙම නඩුකරයට පාදක වී තිබෙන්නේ පුවත්පත් වාර්තාවක් හා මාධ්‍ය නිවේදනයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙවැනි තොරතුරු පදනම් කරගෙන පෙත්සමක් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි අවධාරණය කර සිටියේ.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වත්මන් අමාත්‍ය මණ්ඩලය නම් කිරීම අනුමත කළ නොහැකි බව ද කියා සිටියා.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළා.

    එමෙන්ම පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන තිබේ නම් ඒවා අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත නියෝග කළා.

    Latest News