සුවසැරිය පොලිසියට ගියේ වෘත්තිය සමිතියක බලපෑමකින්

පෙබ 28, 2019

    මධ්‍යම පළාතේ  සුවසැරිය ගිලන් රථ සේවාව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරිණ.

    මාතලේ, මහනුවර සහ නුවරඑළියේ ජනතාව වෙනුවෙන් ගිලන් රථ 41 ක් සේවය සඳහා යොදවා තිබෙන අතර 1990 අංකය ඇමතීමෙන් දිනයේ පැය විසිහතර පුරාම රෝහල්ගත කිරීමක් සඳහා මෙම ගිලන් රථ සේවාව මෙම පළාතේ ජනතාවට නොමිලේ භාවිතා කිරීමට හැකිය. 

    1990 සුවසැරිය ගිලන් රථ සේවාව පළාත් 08 ක ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වසරේ අප්‍රේල් මාසය වනවිට නැගෙනහිර පළාතේද ආරම්භ කරමින් සමස්ත දිවයිනම ආවරණය කිරීමට සැලසුම් සකස් කර තිබේ. මේ වනවිට, මෙම සේවාව ක්‍රියාත්මක වන පළාත් අට තුළ ගිලන් රථ 250 ක් සේවයේ යොදවා තිබෙන අතර මෙම සේවාව සඳහා ලැබෙන ඇමතුම් ප්‍රමාණය දිනකට 1500 ක් පමණ වේ.

    මෙම සේවාව කෙතරම් වේගයෙන් ජනතාව අතර ජනප්‍රිය වෙමින් තිබෙනවාද යත් මෙම සේවාව මගින් පුද්ගලයින් 450 දෙනෙකු පමණ මේ වනවිට දිනකට රෝහල් ගත කරන බව 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. කැපී පෙනෙන්නේ රෝගියා සිටින තැන සිට රෝහලක් වෙත ඔහු රැගෙන යාමට මෙම සේවාවට මේ වනවිට ගත වන්නේ සාමාන්‍යයෙන් විනාඩි 12.5 කට ආසන්න කාලයක් වීමයි. මෙයින් පෙනෙන්නේ මෙම සේවාවේ ඉහළ කාර්යක්ෂමතාවයයි.

    ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා “අපි මේ ගිලන් රථ නතර කරල තිබෙන්නේ පොලීසි වලයි. සාමාන්‍යයෙන් ගිලන් රථයක් නතර කරන්නේ රෝහල්වල. එහෙනම් ඇයි? අපි මේ ගිලන් රථ පොලීසිවල නතර කරන්න තීරණය කළේ. මෙම ගිලන් රථ සේවාව හඳුන්වා දෙන්න යනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති අපට කිව්වා මේ ගිලන් රථ රෝහල්වල නතර කරන්න දෙන්න බෑ. එහෙම නතර කළොත් බලාගම්මු කියලා. මේ නිසා, අපි තීරණයක් ගත්තා මෙම ගිලන් රථ පොලීසිවල නතර කරන්න. අපි අද සතුටු වෙනවා එදා අපි ගත්ත ඒ තීරණය පිළිබඳව. මොකද? අපිට පොලීසියේ මහත්වරුන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් මෙම සේවාව කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ලැබෙනවා. මම කියන්න කැමතියි, ඉදිරි අයවැයෙන් මෙම සේවාවට රුපියල් මිලියන 2500 කට වැඩි මුදල් ප්‍රමාණයක් අපි වෙන්කරන්න තීරණය කර තිබෙනවා“ යැයි ඔහු කියා සිටියේය.

    මෙම සේවාව මධ්‍යම පළාතට හඳුන්වාදීමේ අවස්ථාවට අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇතුළු පළාතේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වුහ.

    susariya1 px 900 19 02 28

    susariya2 px 900 19 02 28

    Latest News