ජනමත විචාරණයකින් ජනතාවගේ මතය විමසන්න: JVP නායක (වීඩියෝ)

පෙබ 28, 2019

    20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සඳහා සියලු පක්‍ෂ සමඟ ලබන සතියේ නිල සාකච්ජා ආරම්භ කරන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...

    “විධායක ජනාධිපති ක්‍රමය ඕනද, නැද්ද කියලා 225 දෙනෙක් තීන්දු කරනවට වඩා, වඩාත් යෝග්‍ය ජනමත විචාරණයක් තුළින් මේ රටේ ජනතාවගේ මතය විමසීම. ඒ සඳහා අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන සංශෝධනයට පාර්ලිමේන්තුවේ බාධාවකින් තොරව ජනමත විචාරණයකට ලක්කිරිම සඳහා අවස්ථාව ලබාදෙන්න කියලා ඉල්ලීම අපි හැම නායකයෙකුටම කරනවා.

    එපමණක් නොවෙයි අපි සූදානම් වෙලා තියෙනවා ඒ කණ්ඩායම මුණ ගැහෙන්න. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා හැටියට මේ මොහොතේ තටයුතු කරමින් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි මහින්ද රාජපක්‍ෂ මහතා එක්ක ලබන සතියේ දී නිල වශයෙන් සාකච්ජාවක් පවත්වන්න මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඔහුගේ එකඟතාව සහ ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව.

    ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂය මුණ ගැහෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදුයුදීන් මහත්තයාගේ පක්‍ෂය, ඒ වගේම මනෝ ගනේෂන් මහත්මයාගේ පක්‍ෂය, ඒ පක්‍ෂත් සමඟ අපි නිල වශයෙන් සාකච්ජා කරනවා ලබන සතියේ ඇතුලත. මේ සාකච්ජාවලදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය, එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය සහ අනෙකුත් දේශපාලන පක්‍ෂවල පාර්ශ්වයන් යම් සාධනීය යෝජනා, සාධනීය අදහස් එනවානම් එම අදහස් ද 20 වැනි සංශෝධනයට ඇතුලත් කරන්න අපි සූදානම්“ යැයි අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 11:20

    Latest News