පාඨලී අධිකරණයේ පෙනී සිටියි..සාක්ෂි වැඩිදුර විභාගයට දිනයක්

ජන 21, 2022

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු වූ රිය අනතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වැනිදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    ඉකුත්දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    ඉකුත් 11 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල් ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව අද පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සිහිපත් කළේය.

    එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සිහිපත් කළේය.

    රෝහල්ගතව සිටින බව කියන චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා...

    "ස්වාමීනි, අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වැනිදා රෝහල් ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බවයි සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වැනිදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල් තබා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබෙනවා.
    එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය "සාමාන්‍ය" බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා"යනුවෙන් නියෝජ සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
    වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුව කඩිනමින් හා කාර්යක්ෂම අවසන් කර ගැනීමට පැමිණිල්ල අපේක්ෂා කරන බව දන්වා සිටියා.

    "ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි"යනුවෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළේය.

    විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් සඳහන් කර සිටියේය.

    මෙම විත්තිකරුට හෙට දිනයෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජන වීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල් තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළේය.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින්" විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල් දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නිත්‍යානුකුල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු "සාමාන්‍ය" තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්වයේ පවතින බවත් සඳහන් කර තිබෙනවා."යනුවෙන් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බව සඳහන් කළේය.

    ඒ සඳහා නීතිඥවරුන්ගේ පහසුව සහ අධිකරණයේ පහසුව යන කාරණා තුලනාත්මකව සලකා බලා එම අරමුණ ඉටුකර යුතු ගත යුතු බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

    ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වැනිදා සහ 23 වැනිදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

    2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News