නීතිඥ හිජාස් ඉස්බුල්ලා ගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය

ජන 20, 2022

    රිමාන්ඩ් බාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව ලබන 28 වනදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වූවොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉන්නා රිමාන්ඩ් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචන අධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ හිස්බුල්ලා මහතාට එරෙහි නඩු විභාගය ලබන 28 වනදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන බවයි.

    එම නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

    ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය දින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    මේනකා විජේසුන්දර හා නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වුණා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මීට වසර දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා මේ වන විට ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    පෙත්සම්කාර හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

    Latest News