සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව ගැන හිටපු ඇමැති රාජිතගේ නඩුවට දින නියම වෙයි

ජන 20, 2022

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.



    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පරිගණක උත්පාදිත සාක්ෂි පරික්ෂා කිරීමට විත්තියට තවමත් හැකියාව නොලැබුණු බව සඳහන් කළ අතර මේ පිළිබඳව නඩු විභාගයේ දී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියා.

    ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය පෙබරවාරි මස 18 වැනිදා කැඳවන බවයි.

    ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 15 වනදා ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ කොලඹ දී සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනෙකු යොදා ගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ කොල්ලකෑම්, මිනීමැරීම් ඇතුළු අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ව්‍යාජ කරුණු සමාජගත කිරීම තුළින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට අගතියක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News