අත්අඩංගුවේ පසු වන හිජාස් හිස්බුල්ලා හමුවීමට නීතිඥවරුන්ට අවසර

දෙසැ 15, 2020

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට(16) පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුසන්ත බාලපටබැඳි මහතා දන්වා සිටියේ අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා හෙට පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බවයි.

    අවම වශයෙන් පැය භාගයක් සැකකරු හමුවී උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර එම අවස්ථාවට නීතිඥවරු දෙදෙනෙකුට සහභාගී විය හැකි බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරනයට දන්වා සිටියා.

    පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය දැනටමත් ලැබී ඇති හෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසයි ඉන් අනතුරුව අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් හෙට දිනයෙන් පසුව නැවත සැකකරු හමු වීමට තිබෙන අවස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අහිමි කරනු ලැබුවොත් නැවත අධිකරණය හමුවට පැමිණීමේ අයිතිය පෙත්සම්කාර පාර්ශවයට තිබිය යුතු හෙයින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමකින් තොරව අත්හිටුවීමක් පමණක් සිදුකරන ලෙස ඉල්ලා සිටියා.

    මෙහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ නැවත ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් නව පෙත්සමකින් මෙම ගැටළු අධිකරණය හමුවට රැගෙන ඒමේ අයිතිය පෙත්සම්කාර පාර්ශවය සතු වන බවයි.

    මේ හේතුවෙන් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළ ද පෙත්සම්කාර පාර්ශවයට අගතියක් සිදු නොවන බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

    ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.

    Latest News