යුගදනවි බලාගාරය නඩුව පෙබරවාරි 3ට කල් යයි

ජන 20, 2022

    කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මස 3 වනදා දක්වා කල් තැබීමට ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරුණ ද අද පෙරවරුවේ අගවිනිසුරුවරයා නොමැතිව සෙසු විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වුණා.

    එම අවස්ථාවේදී විනිසුරු මඬුල්ල නිවේදනය කළේ අද දින විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම කල් තබන බවයි.

    ඒ අනුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි මස 03 වනදා සහ 07 වනදා සිදු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

    මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා.

    එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා

    මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News