හිජාස් හිස්බුල්ලා සම්බන්ධව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

පෙබ 24, 2021

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු හබයාස් කෝපුස් රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය.

    ඒ අනූව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් මස 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පෙත්සමේ සඳහන් වෙයි. ඉන් අනතුරුව ඔහු මේ දක්වා අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බවයි පෙත්සමේ සඳහන් වන්නේ.

    ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

    Latest News