ලොව පුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට

ජන 13, 2022

    ලොව පුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි.

    රටෙහි සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරියේ පසුගියදා (12) පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අක්කර 64ක භූමි භාගයක දීර්ඝ කාලීන බදු පදනම යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම නව කර්මාන්ත ශාලා ඉදි කිරීමට සැලසුම් කර ඇත. පිළිකා නාශක ඖෂධ, විකලාංග උපාංග ඖෂධ, සාමාන්‍ය පෙති හා කරල් නිෂ්පාදන කර්මාන්ත ශාලා ත්‍රිත්වයක් මින් ආරම්භ කෙරේ. මෙයින් කර්මාන්ත ශාලා දෙකක් වසර දෙකහමාරක් තුල හා තවත් කර්මාන්ත ශාලාවක් වසරක් තුල ඉදිකිරීමට සැලසුම් කෙරේ. මෙමගින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

    උපරිම එන්නත්කරණය තුලින් රටෙහි ජනතාව ජීවිත අවදානමෙන් බේරා ගැනීම එහි ඉලක්කය බවත් මේ වන විට වසරක් තුල තෙවන එන්නත කරාද ශ්‍රී ලංකාවට සාර්ථකව යෑමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙරට කොවිඩ් පාලනයට ඉහළ සහයෝගයක් ලබාදුන් බවත් එහෙත් බොහෝ රාජ්‍යන්ට ඍජුව ඒ වෙනුවෙන් සහය දැක්වීමට නොහැකිවු බවත් ලොව පුරා බොහෝ රටවල්හි ව්‍යසනය පැතිර යාම මෙයට හේතුව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News