බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අදාළ නඩුව

ජන 12, 2022

    බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

    එහිදී පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥවරු පෙනී සිටියේ නැහැ.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා.

    අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන මස 7 වනදා තෙක් කල් දැමුණා

    එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ද්විත්ව පුරවැසියෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව තර්ක කලා.

    බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහු බැදී සිටින බව ද සඳහන් කළා.

    එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කල ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවත් තර්ක කළා.

    ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම අමාත්‍ය වරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට 19 වන සංශෝධනය මගින් පනවා තිබූ බාධාව ඉවත් කර තිබෙන බව ද පෙන්වා දුන්නා.

    බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා චන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව මෙම පෙත්සම තුළ ප්‍රමානවත් නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා වශයෙන් පත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

    පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News