කතානායකගෙන් විශේෂ නිවේදනයක්

ඔක් 27, 2018

    මේ වන විට රටේ පැන නැගී ඇති දේශපාලන ව්‍යාකූලතාවය ජනසම්මතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට හැකි වනු ඇතැයි, කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව කියා සිටියා. උපුටා ගැනීම - පැනනැගී ඇති තත්වයට අදාළව කතානායකවරයා ලෙස අපක්ෂපාතී ලෙස සහ නීතියට අනූව කටයුතු කරන බව මම අවධාරණය කරමි. මෙම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ නායකත්වයට සහ මහජනතාවට ආයාචනා කරමි. එමෙන්ම, නීතිය හා සාමය ආරක්ෂා කරමින් ප්‍රශස්ත අන්දමින් ස්වකීය රාජකාරී කටයුතු සිදුකරන ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසීයේ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

    විශේෂයෙන් මේ මොහොතේ රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වීම අප රට පිළිබඳව ඉතා අපකීර්තිමත් තත්වයක් ලෝකය පුරා ප්‍රචලිත වීමට ඉඩ සලසන බැවින් සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 70ක පරිණතභාවයක් සහිත අප රට තුළ පැනනැගී ඇති තත්වයන් ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස සියලු පාර්ශවයන්හි ගෞරවය රැකෙන ආකාරයෙන් නිරාකරණය කර ගැනීම සදහා සහාය වන මෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යළිත් ආයාචනා කරමි.

    Latest News