පාස්කු ප්‍රහාරයට එරෙහිව ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වෙයි

නොවැ 16, 2021

    තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වරින් වර කල් දැමුණු මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 15, 16 සහ 17 යන දිනවල සිදුකරන බවයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල අයගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණ.

    පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට විශ්වාස කළ හැකි නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එරෙහිව අදාළ පාර්ශවකරුවන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

    Latest News