පාස්කු ප්‍රහාර නඩුවෙන් ජනපති නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරයි

සැප් 26, 2022

    පාස්කු  ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු කටයුතුවලින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 /1 වගන්තිය අනුව, වත්මන් ජනාධිපතිවරයාට මුක්තියක් හිමිවීම ඊට හේතුවයි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. ‍තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත  සත්පුද්ගල‍ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

    35/1 වගන්තිය ප්‍රකාරව වර්තමානයේ ජනාධිපති ධුරය දරණ තැනැත්තෙකුට එරෙහිව නඩු  කටයුතු පවත්වාගෙන ‍යා නොහැකි බව, අගවිනිසුරුවරයා මෙහිදී පෙන්වා  දුන්නා. රාජ්‍ය නායකයෙකුට තම නිල කටයුතු බාධාවකින් තොරව, පවත්වා ගෙන යාම සඳහා එම වගන්තිය හඳුන්වා දී තිබෙන බවයි, මෙහිදී සඳහන් කෙරුණේ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙසයි, රනිල් වික්‍රමසිංහ මහතා  නම් කර තිබුණේ. පෙත්සම් පිළිබඳ වැඩිදුර  විභාගය ලබන 29 වැනිදා  දක්වා කල් තැබුණා.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී, එහි විකාශ කටයුතුවලට බාධා සිදු කළේයැයි, දානිස් අලී නැමැත්තා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල, ජනවාරි මස 9  වැනිදා යළි කැඳවන ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. දනීස් අලී ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පොලීසියට බාරයට ගෙන, ඒවා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට යොමු කොට, පරීක්ෂණ පැවැත්වීම සඳහා අවසර  දෙන ලෙස, පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට  අධිකරණය අවසර ලබා දුන්නා.

    Last modified on සදුදා, 26 සැප්තැම්බර් 2022 12:13

    Latest News