ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ

නොවැ 09, 2021

    කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බුලත්සිංහල,මෝල්කාව,ලත්පඳුර ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ. කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.

    ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. තත්පරයට ඝන මීටර 308ක ජල ධාරිතාවක් එමඟින් රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන අතර මහවැලි ගඟේ පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන ලෙසයි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.

    මහවැලි ගඟේ පොල්ගොල්ල හැරවුමේ දොරටු හයක් විවෘත කොට ජලය මුදාහැරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. තත්පරයට ඝන මීටර 540ක ජල ධාරිතාවක් එමඟින් මුදාහැරෙනු ඇති.

    රාජාංගණය ජලාශයේ වාන් දොරටු තිහෙන් දහයක් තවදුරටත් විවෘතව පවතියි. තත්පරයට ඝන අඩි දස දහස් හාරසීය බැගින් ජලය මුදා හැරුණු බවයි,වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් අඩි පහ බැඟින් විවෘත කර තිබේ.

    Latest News