ගංවතුර තත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

නොවැ 09, 2021

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී අනතුරු ඇඟවූ ආකාරයට අලව්ව,ගිරිඋල්ල ආශ්‍රිත මාඔය ද්‍රෝණියේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ අද පෙරවරු 7.00 වන විට ජල මට්ටම මීටර 8.94 දක්වා ඉහළ ගොස් තිබිණ. 

    මේ තත්වය මත අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, නාරම්මල, දංකොටුව, වෙන්නප්පුව, කටාන සහ මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    මේ තත්වයෙන් ජීවිත හා දේපල ආරක්ෂා කරගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් ක්‍රියාකරන ලෙසයි, එහි පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    අලව්ව - කුරුණෑගල මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන‍ ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. කුරුණෑගල - මීගමුව මාර්ගය ගිරිඋල්ල නගරය ආශ්‍රිතව ජලයෙන් යටවීම නිසා ගමනාගමනය ඇණහිට තිබේ.

    නාවික හමුදාවේ සහයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මකයි. පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසන්නේ, පවුල් 150කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි.

    නාරම්මල,වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ. අනතුර සිදුවන විට එම තරුණිය සමග ඇයගේ සහෝදරයා හා මව නිවසේ රැඳී සිට ඇති බවයි, අලව්ව පොලීසිය පවසන්නේ.

    Latest News