පලතුරු බීම අපනයනයට රජයෙන් දිරිගැන්වීම් (වීඩියෝ)

සැප් 26, 2020
  • පලතුරු බීම නිෂ්පාදකයින් සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් ගොවීන්ගේ නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹිය යුතු බව, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ සඳහා නිෂ්පාදන බදු අඩු කිරීමට තමා යෝජනා කරන බව, බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

    ආර්ථික පුර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා, මහා පරිමාණ පලතුරු බීම නිෂ්පාදකයින් සමඟ ඊයේ පැවති සාකච්ජාවකදී මේ බව කියා සිටියේය.

    එළවළු සහ පලතුරු එකතු කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවිය යුතුය. පලතුරු බීමවල සීනි ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට බීම නිෂ්පාදකයින්ගේ වගකීමක් බව ද බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

    පලතුරු යුෂ හා එළවළු යුෂ සඳහා යුරෝපය ඇතුළු අන්තර් ජාතික රටවල විශාල ඉල්ලුමක් පවතී. ඒ අනුව, අපනයන වැඩි කිරීමෙන් දේශීය ගොවි ජනතාවගේ ජීව මට්ටම ද ඉහළ නැංවිය හැක.

    එළවළු සහ පලතුරු යුෂ වශයෙන් නිෂ්පාදනය කොට විදේශයන් වෙත යැවීමෙන් අපනයන වෙළෙඳපොළ ඉලක්ක සාක්සාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා රජයේ දිරි ගැන්වීම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට නියමිතයි.

    පාරිභෝජනය කෙරෙන සීනි ප්‍රමාණය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග ගෝලීය වශයෙන් පැසසුමට ලක්වී ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණ.

    නිෂ්පාදන බදු සහන නිර්දේශ ලබාදීම මගින් සීනි භාවිතය ප්‍රචලිත කිරීමක් සිදු නොකෙරෙන බව ද අවධාරණය කළ බැසිල් රාජපක්‍ෂ මහතා, “සීනි අඩංගු නැත“ යන ලේබලයෙන්, පළතුරු බීම වෙළෙඳපොළට නිකුත් කිරීමට ඉදිරියේ දී නිෂ්පාදකයන් උනන්දු විය යුතු බව ද කියා සිටියේය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, අජිත් නිවාඩ් කබ්රාල් යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු පිරිසක් ද සාකච්ජාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 20:09

    Latest News