නව අගමැතිගේ දේශපාලන ගමන් මග..(වීඩියෝ)

ඔක් 27, 2018
  • 1967 වසරේ දී සිය පියාණන්ගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට දිවුරුම් දුන්නේ, පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. 1989 දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යළි පාර්ලිමේන්තුවට පිවිසි එතුමා 2004 වසර වන තුරු පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කළා. 2004 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් එතුමා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා 05 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වුණා.

    30 අවුරුදු යුද්ධය නිමා කරමින් මව්බිමට සාමය උදා කිරීමට ජයග්‍රහණයක් ලබා දෙමින් කැපවූ එතුමා 2010 වසරේ ධුරයට තේරී පත්වුණා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද, ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා යළි ජනතා සේවයට පිවිසියා. 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමෙන් එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා.

    මෙය, නව දේශපාලන පක්ෂයකට 70%කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමි වූ පළමු අවස්ථාවයි. පළාත් පාලන ආයතනවල බහුතරය දිනා ගනිමින් ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමට එතුමා සිදුකළ කාර්ය බාරය ඉතා වැදගත්. කෙටිකලකින් පිහිටවූ නව දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනවල 70%ක බහුතර බලය හිමිවීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වනවා.

    දූෂිත පාලනය අවසන් කරමින් ජනතා හිතවාදී රජයක් බිහිකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනතාව ඉදිරියේ දී ප්‍රතිඥා දුන්නා. ව්‍යවස්ථා ප්‍රකාරව තමන්ට ලැබී ඇති බලතල අනූව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේ ඒ අනූවයි.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 12:53

    Latest News