වසන්ත කරන්නාගොඩ ගැන නීතිපතිගේ තීරණයට එරෙහිව තවත් පෙත්සමක්

ඔක් 15, 2021

    වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.



    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි චෝදනා කරමින් ගොනු කර එම නඩුවේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබේ.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා වගඋත්තරකාර නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

    අතුරුදන් වූ තරුණයකුගේ මවක් වන සරෝජා ගෝවින්දසාමි නාගනාදන් ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් පෙත්සම ගොණුකර තිබෙනවා.

    පෙත්සම්කරුවන් සදහන් කරන්නේ 2008 වසරේ කෙළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පැවරූ බවයි.

    එම නඩුව විභාග වෙමින් තිබියදී එහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත්කරගැනීමට නීතිපතිවරයා තීරණය කිරීම යූක්ති සහගත නොවන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

    වසන්ත කරන්නාගොඩට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට මුලින්ම නීතිපතිවරයා තීන්දු කළේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වි තිබීම නිසා යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් සාධාරණ හේතුවක් නොමැතිව ඔහුට එරෙහි චෝදනා ඉවත්කර ගැනීම තුළින් නීතිපතිවරයා තමන් සතු බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇතැයි චෝදනා කලා.

    එබැවින් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කළ චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා අඛන්ඩව විභාග කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් වනතුරු අදාළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නීතිපතිවරයා වෙත නිකුත් කර ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News