මට්ටක්කුලියේ මිනී මැරුම් සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ඇතුලු පිරිස තවදුරටත් රිමාන්ඩ්

ඔක් 15, 2021

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ද මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් වරයා ඇතුලු සැකකරුවන් 15 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.



    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විමර්ශන සිදුකරන මට්ටක්කුලිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම අපරාධයට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.

    මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ තිබෙන සැකකරුවන් විසින් කුලීපදනම යටතේ ලබාගත් වාහනයක් මුදාහරිණ ලෙස එහි හිමිකරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

    එම ඉල්ලීමට අනුව නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අදාල වාහනය එහි ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරිණ ලෙස නියෝග කළා.

    එමෙන්ම නඩුව නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළා.

    අදාල එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් වරයා, එම කඳවුරට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරිනියක ඇතුළු 15 දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    Latest News