වසන්ත කරන්නාගොඩගේ නඩුවක් ඉවත් කිරීමට එරෙහි පෙත්සම හෙට කැඳවේ

නොවැ 01, 2021

    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට හේතු වූ කාරණා අඩංගු රහසිගත වාර්තාව හෙට(02) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළා.

    වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයින්ගෙන් ඥාතීන් විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    මෙම පෙත්සම අද විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණා.

    එහෙත් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වසන්ත කරන්නාගොඩ මහතාට අදාල අධිචෝදනා ඉවත් කිරීමට හේතුව කරුණු අඩංගු නීතිපතිවරයාගේ රහසිගත වාර්තාවක් තිබෙන බවත් එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන්නේ ද ඉල්ලා සිටියා.

    ඒ අනුව අදාළ වාර්තාව හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න තීන්දු ප්‍රකාශයට පත් කරන දිනය දැනුම්දෙන බවද නියෝග කළා.

    අතුරුදන් වූ තරුණයකුගේ මවක් වන සරෝජා ගෝවින්දසාමි නාගනාදන් ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් පෙත්සම ගොණුකර තිබෙනවා.

    පෙත්සම්කරුවන් සදහන් කරන්නේ 2008 වසරේ කෙළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පැවරූ බවයි.

    එම නඩුව විභාග වෙමින් තිබියදී එහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත්කරගැනීමට නීතිපතිවරයා තීරණය කිරීම යූක්ති සහගත නොවන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

    වසන්ත කරන්නාගොඩට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට මුලින්ම නීතිපතිවරයා තීන්දු කළේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වි තිබීම නිසා යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් සාධාරණ හේතුවක් නොමැතිව ඔහුට එරෙහි චෝදනා ඉවත්කර ගැනීම තුළින් නීතිපතිවරයා තමන් සතු බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇතැයි චෝදනා කළා.

    එබැවින් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කළ චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා අඛන්ඩව විභාග කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් වනතුරු අදාළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නීතිපතිවරයා වෙත නිකුත් කර ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එහෙත් මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ කරන්නාගොඩ මහතාට එරෙහි අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොවන බවයි.

    කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන නොයාමට පමණක් මෙහිදී නිතිපතිවරයා තීන්දු කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අදාල නඩුවේ සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහි චෝදනා අඛන්ඩව විභාග කෙරෙනු ඇති බවත් අධිකරණය හමුවේ අවධාරණය කර තිබුණා.

    Latest News