වසන්ත කරන්නාගොඩට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි

ඔක් 29, 2021

    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන රිට් පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරුණා.

    පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවට පෙත්සමෙන් දක්වා ඇති කරුණු සාවද්‍ය බව පැවැසුවා.

    විත්තිකාර කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයාමට පමණක් මෙහිදී නීතිපතිවරයා තීරණය කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා කෙසේ වෙතත් අදාල නඩුවේ සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහි අධිචෝදනා අඛන්ඩව විභාග කෙරෙනු ඇති බවත් අධිකරණය හමුවේ අවධාරනය කළා.

    ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් විත්තිකාර කරන්නාගොඩ මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට තීන්දු කළේ ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි අනාවරණය වීම හේතුකොටගෙන බව පෙන්වා දුන්නා.

    එසේ තිබියදී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ක්ෂණිකව ඔහුට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් ක්‍රියාකිරීම තුළින් නීතිපතිවරයාගේ පක්ෂග්‍රාහී භාවය මනාව දිස් වන බව පෙන්වා දුන් නීතිඥ බෝපගේ මහතා නීතිපතිවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බවයි කියා සිටියේ.

    මෙහිදී වගඋත්තරකාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුගමනය කර තිබෙන ක්‍රියාපටිපාටිය නීත්‍යානුකූල බවයි.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය
    මෙම නියෝගය කළා.

    අතුරුදන් වූ තරුණයකුගේ මවක් වන සරෝජා ගෝවින්දසාමි නාගනාදන් ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් පෙත්සම ගොණුකර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබෙනවා.

    Latest News