වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට දින නියම වෙයි

දෙසැ 08, 2021

    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව තමන්ට නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට අද අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා.



    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    කරන්නාගොඩ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී අදාල සිද්ධියෙන් අතුරුදන්වූ තරුණයින්ගේ දෙමව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ට මෙම නඩු විභාගයේදී මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විරෝධය පළ කළා.

    කෙසේ වෙතත් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට මෙම නඩු විභාගයට මැදිහත් වීමට අවසර දුන් අධිකරණය නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 24 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

    අනතුරුව මෙම පෙත්සම් විභාගය ජනවාරි මස 31 වනදා සිදු කරන බවයි විනිසුරු මඩුල්ල නියම කළේ.

    Latest News