වී මිලදි ගැනිම: මහින්දට නාමල්ගෙන් චෝදනාවක්

පෙබ 16, 2019

    රජයේ වි මිලදී ගැනිමේ වැඩසටහන කඩාකප්පල්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා වගකිව යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවාධාරනය කරයි. දේශීය වී අස්වනු නෙලීම රටපුරා ආරම්භ වී ඇතත් මෙතෙක් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු කියා සිටියි. රජය වී මිලදී ගැනීම ආරම්භ නොකළහොත් ඉදිරියේදී වී කිලෝවක් රුපියල් දාහත වැනි අඩු මුදලකට ගොවීන්ට අලෙවි කිරීමට ගොවින් සිදුවනු ඇති බව නාමල් කරුණාරත්න පෙන්වා දේ.

    දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ වෙල්යායක අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වී අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබෙන බවත් වී කිලෝවක් රුපියල් 26 ත් 27 අතර මිලකට අලෙවි කෙරේ. වී කිලෝවකට රුපියල් 50ක මිලක් අවශ්‍ය බව ඔහු කියා සිටියේය. අඩු මුදලකට වී මිලදී ගෙන සහල් කිලෝව රුපියල් 90ක වැඩියෙන් අලෙවි කර අති විශාල ලාභයක් සහල් මෝල්හිමියන් ලබන බව නාමල් කරුණාරත්න අවධාරනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එය පිළිගෙන ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කළේය.


    වී මිලදී ගනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන ණය මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබුණ ද එය ඉටු කර නොමැති බව ද ඔහු මෙහිදි පෙන්වා දුණි. එම වැඩපිළිවෙල අකර්මණ්‍යවීමට ප්‍රධානම හේතුව දින 50 ක කාලයක් මහින්ද රාජපක්ෂ මහතා රට අකර්මණ්‍ය කිරීම බව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය. වී මිලට ගැනීමට වැඩපිළිවෙළ සහිත කැබිනට් පත්‍රිකා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමේ වගකීම වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගත යුතු යැයි නාමල් කරුණාරත්න චෝදනා කළේය.

    රජයෙන් වී මිලදි ගැනිම මේ වන විට ආරම්බ කර ඇති බව වි අලෙවි මණ්ඩලයේ සභාපති නිතිඥ කස්තුරි අනුරාධනායක පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සැපයෙන දත්ත අනුව එය සිදුකෙරේ. රජයේ වි මිළදි ගැනිමේ වැඩසටහන යටතේ කිලිනොච්චියෙන් වි ටොන් 300 ක්, වවුනියාවෙන් ටොන් 123 ක්, මුලතිව්වලින් ටොන් 92 ක් සහ අම්පාරෙන් ටොන් 06 මිළදි ගෙන තිබේ. අම්පාර දිස්ත්‍රික්යේ වි අස්වනු නෙලීම තවමත් ආරම්භව නොතිබිම හේතුවෙන් වී මිලදී ගැනිම තවමත් විදිමත්ව ආරම්භ කර නොමැත. අනුරාධපුරයේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීම ආරම්භව ඇති බැවින් වි මිළදි ගැනිම ලබන සතියේ ආරම්භ කරන බව නිතිඥ කස්තුරි අනුරාධනායක පවසයි.

    රජයෙන් වී මිලදි ගැනිම පෙර වසරවලට වඩා විදිමත් සහ වඩා කාර්යක්ෂම සිදුකරන බව ඔහු කියා සිටි. වී මිලදි ගැනිම වඩා විනිවිද ස්වභවයකින් ක්‍රියාත්මක කෙරෙන අතර ගොවි සංවිධාන වලට අවශ්‍ය ඕනැම අවස්ථාවක තොරතුරු ලබාදිමේ අවස්ථාව සලසා ඇත. මේ අනුව රජය වී මිළදි ගැනිමේ වැඩසටහන ගොවින්ට කිසිදු අඩුපාඩුවක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරිමට සුදානම් බවත් නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රකාශය බැහැර කරන බවත් ඔහු කියා සිටියේය.

    මෙවර වී මිළදි ගැනිමට රජය රුපියල් කෝටි 600 ක් වෙන් කර තිබේ. මෙම මුදල් අදාල දිස්ත්‍රික්කයන් හි දිසාපතිවරුන් වෙත ලබා දි ඇත.

    Latest News