අගමැති රනිල්: උතුරු පළාත, දකුණේ පිලිකන්නක් නොවිය යුතුයි (වීඩියෝ)

පෙබ 16, 2019

    උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    දකුණ, නැගෙනහිර, බටහිර සහ උතුර ද එකවිට සංවර්ධනය කිරීම තම අභිප්‍රාය බව ඔහු පෙන්වා දුන්නේය. අද (16) පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මුලතිව් ප්‍රදේශයට යුද්ධයෙන් සිදුවූ හානිය තවමත් යතා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වී ඇති බව මෙහිදි කියා සිටියේය. යුද්ධයෙන් පීඩාවට පත් භෞතික සම්පත් මෙන්ම ජනතා සිත්සතන් ද යලි යතා තත්ත්වයට පත් කරලීම සඳහා සියලූ රාජ්‍ය නිලධාරීන් එකසිතින් වැඩකටයුතු කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුනි.

    මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, සිවශක්ති ආනන්දන්, වෛද්‍ය එස්. සිවමෝහන්, ශාන්ති ශ්‍රීස්කන්ධරාජා, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:06

    Latest News