වියට්නාම තානාපතිනිය හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අතර හමුවක්

සැප් 09, 2021

    කොළඹ වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක් මැතිනිය ඊයේ (08) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූවාය.

    2020 වසරේ දී පැවති දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගැනීම පිළිබඳ 50 වැනි සංවත්සරය පිළිබඳව සිහිපත් කරමින්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ ඇගයීමට ලක් වූ අතර, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙරට උනන්දුවක් දක්වන බව එතුමා යළි අවධාරණය කළේය. 2009 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වියට්නාමයේ නිරත වූ නිල සංචාරය ඇතුළුව, දෙරට අතර නිතිපතා සිදුවන ඉහළ මට්ටමේ අන්තර් ක්‍රියාකාරකම් පිළිබඳව ද එතුමා සිහිපත් කළේය.

    සෑම තරාතිරමකම දේශපාලන සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ බහුවිධ ස්වභාවය සහ වෙළඳාම සහ ආයෝජනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විද්‍යා හා තාක්‍ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳව තානාපති ට්‍රක් මැතිනිය විස්තර කළාය.

    අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අංශයන්හි සහයෝගීතාව සාදරයෙන් පිළිගත් පීරිස් අමාත්‍යවරයා ජාත්‍යන්තර වේදිකාවල දී වියට්නාමය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳව සිය දැඩි කෘතඥතාව ප්‍රකාශ කළේය.

    Latest News