රටේ කිසිදු ආහාර හිඟයක් නෑ ; බිය නොවන්න

සැප් 02, 2021

    රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවයි.

    ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙරට තුළ බරපතළ ආහාර හිඟයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    ඇතැම් විපක්ෂ දේශපාලඥයින්ද එම අසත්‍ය වාර්තා නැවත ප්‍රචාරය කරමින් සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

    ඇතැම් කූඨ වෙළෙඳුන් පසුව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

    ඔවුන්ගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කරනු ලැබුණි.

    එමෙන්ම සැඟවූ ආහාර ද්‍රව්‍ය තොග සොයා, ඒවා සාධාරණ මිලට බෙදාහැරීම එහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    එමගින් කෘතිම ලෙස ආහාර හිඟයක් ඇති කිරීමට ගත් උත්සහාය ව්‍යාර්ත කිරීමට හැකිවූ බවත් ආහාර හිඟයක් ඇති වේයැයි බිය නොවන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News