අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඟවා තබා ගත්තොත් දඩය රු. ලක්ෂයයි

අගෝ 11, 2021

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඟවා තබා ගන්නා හෝ පාලන මිල අභිබවා අලෙවි කරන්නන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක රුපියල් 2500ක දඩ මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

    වෙළඳපොළේ පරිප්පු, සීනි හිඟයක් නොමැති බවත් තවත් මාස හතරකට පහකට අවශ්‍ය සීනි සංචිත රට තුළ පවතින බවත් ඇමැතිවරයා කීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

    මුදලාලින් හතරපස් දෙනකු එක්ව මෙරට මිලියන 22 ක් වන ජනතාවට අසාධාරණයක් කරන්නේ නම් ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා රජය මූලික ප්‍රතිපත්ති පවා වෙනස් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

    2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60 වැනි වගන්තියේ 5 වැනි උපවගන්තිය සංශෝධනය කිරීමට වෙ‍ෙළඳ අමාත්‍යවරයා ඉදරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    එම යෝජනාවට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇමැතිවරයා පැවසුවේය.

    සහල් මිල රුපියල් 90ත් 98ත් අතර මිලක පවත්වා ගැනීමට වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් උපරිම උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ද, නමුත් සහල් සම්බන්ධයෙන් කටයුතු කරන සුළු පිරිසක් අසාධාරණ ලෙස කටයුතු කරමින් සිටින්නේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය.

    කෙසේ වෙතත් ජනතාවට සහනයක් ලබා දිය හැකි බවට ඉදිරිපත් කරන රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

    Latest News